විශේෂ සමථ මණ්ඩල

2003 අංක 21 දරණ සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනතට අනුව විශේෂ සමථ මණ්ඩල පිහිටුවන ලදී. මෙහිදී අධිකරණ අමාත්‍යවරයා විසින් අදාළ විශේෂ ආරවුල් වර්ග තීරණය කරනු ලබන අතර, ඒ සඳහා අර්ථවත් ආකාරයෙන් සමාජ ආර්ථික විෂයෙහි ආරවුල් විසඳීමේ අවශ්‍යතාවය සලකා බැලීමට ඔහු බැඳී සිටී. තවද, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ ලැයිස්තුගත කර ඇති ආරවුල් වර්ගවලින් එකක් හෝ කිහිපයකට අදාළව ඒවා විසඳිය යුතු ප්‍රදේශය හෝ ප්‍රදේශ ("විශේෂ සමථ මණ්ඩල ප්‍රදේශ") නම් කිරීම ද අවශ්‍ය වේ. එමෙන්ම, අවශ්‍යතාවය අනුව නිශ්චිත කාල සීමාවක් සඳහා මෙම විශේෂ මණ්ඩල ස්ථාපිත කළ හැක.

විෂය කරුණුවල ප්‍රවීණතාව සහ ඔවුන්ට අදාළ විශේෂ සමථ මණ්ඩල ප්‍රදේශය සලකා බලා විශේෂ සමථ මණ්ඩල සඳහා සමථකාරවරුන් පත් කරනු ලැබේ. විශේෂ සමථකරණය සඳහා තෝරාගෙන පුහුණු කරනු ලැබූ සාමාජිකයන් රාජ්‍ය සේවකයින් වශයෙන් සලකනු ලබන අතර, ඔවුන්ගේ සේවය සඳහා ගෙවීමක් සිදු කරනු ලැබේ. මෙසේ තෝරාගනු ලැබූ සමථකාරවරුන් වසර 3 කාලයක් තම සේවය සැලසිය යුතු අතර, නැවත තෝරා පත්කර ගනු ලැබිය හැකිය.

මෙම සමථකරණ ක්‍රියාවලිය ප්‍රජා මැදිහත්වීමේ ක්‍රියාවලියට වඩා සුළු වශයෙන් වෙනස් වේ. මෙහිදී ආරවුලක පාර්ශ්වකරුවෙකුටතමන්ගේ දුක්ගැනවිලි සඳහන් කරමින් විශේෂ සමථ මණ්ඩලයට ලිඛිත අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිය. ආරවුලට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ට දැනුම් දීමට, සාක්ෂිකරුවන් පෙනී සිටින ලෙස සහ ලේඛන ඉදිරිපත් කරන ලෙස දැන්වීමට, සමථ සැසි කැඳවීමට සහ අවශ්‍ය විටෙක විශේෂඥ සහය සහ උපදෙස් ලබා ගැනීමට සමථ මණ්ඩලයට බලය ඇත. එසේ වුවද, මෙහිදී ප්‍රාදේශීය වශයෙන් ඇති සාමාජීය සහ නීතිමය වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. විශේෂ මණ්ඩලවලට ආරවුලකට අදාළ කරුණු සම්බන්ධ විශේෂිත දැනුමක් ඇති පුද්ගලයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකි අතර, අවශ්‍ය විට දී සමථකරණ ක්‍රියාවලියට ග්‍රාම නිලධාරීවරයාගේ සහාය ද ලබාගත හැකිය.

මෙහිදී ප්‍රජා සමථකරණයක දී මෙන්ම ආරවුලක් සාර්ථක ලෙස විසඳා ගැනීමෙන් පසු නිරවුල් කිරීමේ සහතිකයක් නිකුත් කල යුතු අතර, එසේ නොහැකි වූ අවස්ථාවල දී නිරවුල් නොකිරීමේ සහතිකයක් ලබා දෙනු ලබයි. ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට එලඹිය යුතුවේ නම් නිරවුල් නොකිරීමේ සහතිකය ඊට පදනමක් සපයයි.