0112 334 323
|
mbc2016.gov@gmail.com
|
4th Floor, Ministry of Justice Building, No. 19, Sri Sangaraja Mawatha, Colombo 12

විශේෂ වර්ගවල ආරවුල්

විශේෂ වර්ගවල ආරවුල්

සමථකරණයේ විෂයට ක්ෂේත්‍රයට අයත් වන විශේෂ ආරවුල් වර්ග මොනවාදැයි සොයා බලා ප්‍රකාශයට පත්කිරීමට අධිකරණ අමාත්‍යවරයාට නීත්‍යානුකූල බලයක් හිමි ය. ඒ අනුව මේ යටතේ පහත වර්ගීකරණයන් ස්ථාපිත කර ඇත.

ඉඩම් ආරවුල් සාමාන්‍ය සංසිද්ධියක් වන අතර එය ප්‍රජා සමථකරණය යටතට ගැනුණි. කෙසේ වුවද, පුරවැසියන් සහ රජය අතර ඉඩම් සම්බන්ධ ආරවුල් ඉහළ යාමත්, උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය සම්බන්ධයෙන් පවත්නා ගැටුම් නිසාත්, එවැනි ඉඩම් ආරවුල් විසඳීම සඳහා විශේෂ ඉඩම් සමථ මණ්ඩල පිහිටුවීමේ අවශ්‍යතාවයක් මතු විය.

දැනට යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, ගම්පහ, කොළඹ, කුරුණෑගල, මහනුවර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන විශේෂ ඉඩම් සමථ මණ්ඩල ගණන දහසයකි (16). 2021 වසරේදී ඉඩම් සමථ මණ්ඩල වෙත යොමු කිරීම සඳහා හේතු වන මුල්‍ය ආරවුල්වල අගය රුපියල් මිලියනයකට (රු. 1,000,000) අඩු ඕ නෑම අගයක් වන ලෙස නීති සම්පාදනය කරන ලදී.

ඉඩම් ආරවුල් සඳහා ස්ථාපනය කළ මෙම විශේෂ සමථ මණ්ඩල මගින් නීතිමය හෝ පරිපාලනමය ක්‍රමවේද තුළින් වඩාත් විධිමත් වූ විසඳුම් ලබාදීම අමතර වාසියකි. එමෙන්ම ඒවාට සමථකරණයෙන් විසඳා ගැනීමට නොහැකි වූ ඉඩම් ආරවුල් වෙනත් තීරණ ගැනීමේ බලාධිකාරයන් වෙත යොමු කිරීමේ හැකියාව ද පවතී.

ඉඩම් ආරවුල් මෙන්ම මූල්‍ය ආරවුල් ද ප්‍රජා සමථ මණ්ඩල මගින් ආවරණය විය. කෙසේ වෙතත්, මූල්‍ය ආරවුල්වල ප්‍රමාණයේ සහ ස්වභාවයේ (උදාහරණයක් ලෙස ජනතාව හා විවිධ සමාජ-ආර්ථික පසුබිම් සහිත ආයතන අතර ඇතිවූ ආරවුල්) ඉහළ යෑමත් සමග, ප්‍රජා සමථ මණ්ඩල මගින් ඒවා විසඳීමේ දී ප්‍රජා මූලික ඉලක්කයන් ඉක්මවා යන්නේදැයි ගැටළු මතු විය.  

මෙහිදී සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය ආරවුල් සඳහා විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ අමාත්‍යාංශය මුලපුරන ලදි. ඒ අනුව කොළඹ, ගම්පහ, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්ක හය තුළ රුපියල් මිලියනයකට (රු.1,000,000.00) වඩා අඩු මූල්‍ය ආරවුල්වලට මැදිහත් වීමට බලය ඇති විශේෂ මූල්‍ය සමථ මණ්ඩල පිහිටුවීමට යෝජිතය. කෙසේ වෙතත්, සිය කැමැත්තෙන් සමථකරණය කරා යොමුවන විට මෙම මූල්‍ය සීමාව ඉක්මවා යාමේ හැකියාවක් ඇත.

2004 වර්ෂයේදී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය මගින් විශාල හානියක් සිදු කළේය. එමගින් සිදු වූ මරණ ඇතුළු සෘජු හානි හැරුණු විට, බොහෝ දිගුකාලීන හානි ද සිදු විය. පීඩාවට පත්වූවන්ට මුහුණ දීමට සිදු වූ බොහෝ ගැටලු අතර, දේපල හානි, ධන හානි සහ ණය බර ද විය. මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලිවලින් බහුතරයක් රාජ්‍ය සේවකයින්ට එරෙහි පැමිණිලි වූ අතර, මෙම ආරවුල් විසඳීමට ප්‍රජා සමථ මණ්ඩලවලට බලතල නොමැති විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2003 අංක 21 දරණ සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යටතේ සුනාමියෙන් ඇති වූ ණය, හානි හෝ ඉල්ලීම්වලට අදාළ ආරවුල් විසඳීම සඳහා 2005 දී විශේෂ සමථ මණ්ඩල පිහිටුවන ලදී.

මෙම විශේෂ සමථ මණ්ඩල ස්ථාපනය කිරීම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක දහතුනක් (13) නම් කරන ලදී. රුපියල් ලක්ෂ පහකට (රු.500,000.00) වඩා අඩු මුදලක් සම්බන්ධයෙන් වන ආරවුල් සමථකරණය සඳහා මේවාට බලය පවරා ඇත. ආරවුලකට මුල් වූ මුදල මෙම සීමාවට වඩා අඩු නම්, නඩුවක් ගොනු කිරීමට පෙර සමථකරණයට එළඹීම අත්‍යවශ්‍ය වේ.

සංක්‍රමණික සේවකයන්ගේ රැකියා පටිපාටිය සම්බන්ධ දුක්ගැනවිලි වැඩි කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ද යම් කොටසක් ප්‍රජා සමථ මණ්ඩල මගින් ද හසුරුවන ලදී. ශ්‍රී ලංකා ජාතික කම්කරු සංක්‍රමණ ප්‍රතිපත්තිය මගින් මෙවැනි ගැටළු සඳහා විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී. 

මේ යටතේ, ශ්‍රී ලංකාවේ සංක්‍රමණික සේවකයන් සහ ඔවුන්ගේ පවුල් සම්බන්ධ ගැටළු ආමන්ත්‍රණය කිරීම සඳහා, 2018 වසරේ දී ප්‍රථම විශේෂ සමථ මණ්ඩලය කුරුණෑගලදී පිහිටුවන ලදි. මෙහිදී සංක්‍රමණික සේවක පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය හා සුභසාධන නඩත්තුව, සංක්‍රමණික සේවකයා පිටත්ව යාමට පෙර සිදු වන විරෝධී ක්‍රියාකාරකම් සහ ආපසු පැමිණීමේදී ඇති වන සියලු ආකාරයේ ගැටළු සලකා බැලීමටත්, ඒවා බේරුම් කිරීමට හා විසඳීමටත් සමථ මණ්ඩලයට බලය ලබා දී ඇත. ඒ අනුව රුපියල් මිලියනයකට අඩු (රු.1,000,000.00) වටිනාකමින් යුත් ආරවුල් මෙම විශේෂ සමථ මණ්ඩලය වෙත යොමු කිරීම අනිවාර්ය වේ.