ප්‍රජා සමථකරණය යනු කුමක්ද?

‘ප්‍රජා සමථකරණය’ යනු විකල්ප ආරවුල් විසඳීමේ ජනප්‍රිය ආකාරයකි. ‘ප්‍රජා සමථකරණය’ යන පදය සෑදී ඇත්තේ මෙය යම් ප්‍රජාවකට හෝ නිශ්චිත ප්‍රදේශයක ජීවත් වන පිරිසකට වෙන්වූ ක්‍රියාවලියක් වන බැවිනි.

ප්‍රජා සමථකරණයේ මූලික අරමුණ වන්නේ ප්‍රජාවට අදාළ ආරවුල් විසඳීමයි. මෙයට අසල්වාසීන් අතර ආරවුල්, ඉඩම් හිමියන් සහ කුලී නිවැසියන් අතර ආරවුල්, ප්‍රජාව සහ පළාත් පාලන ආයතන අතර ආරවුල් ආදිය ඇතුළත් වේ. මේ අතර පවුල්වල අභ්‍යන්තර ආරවුල් හා ඉඩම් හා දේපල සම්බන්ධ ආරවුල් වඩාත් සුලභ ආරවුල් වර්ග වන අතර, ඉඩම් සහ දේපල සම්බන්ධ ආරවුල් බොහොමයක් ඉඩම් මායිම්, මාර්ග අයිතිය සහ ඉඩම් නීති විරෝධී ලෙස භාවිතා කිරීම අරභයා හටගනී.

ප්‍රජා සමථකරණය සිදු කරනු ලබන්නේ ප්‍රජා සමථ මණ්ඩල පිහිටුවීම මගිනි. මෙම සමථකරණ ක්‍රියාවලිය ප්‍රජාව තුළට මුල් බැසගෙන ඇත්තේ, යම් ප්‍රජා සමථ මණ්ඩලයක් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුරවැසියන්ට පමණක් සීමා වී තිබීම හේතුවෙනි. අනෙක් අතට සමථ මණ්ඩලය අදාළ ප්‍රජාවේම සිටින ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත වීම ඊට තවත් හේතුවකි. දැනට ශ්‍රී ලංකාව තුළ විවිධ ජන ප්‍රමාණයන්ගෙන් යුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 330 කි.

අන්තර් පුද්ගල සහ ප්‍රජා මට්ටමේ ආරවුල් සඳහා ඔවුන් සමගි සම්පන්න විසඳුම් ලබාදීමට ප්‍රජා සමථ මණ්ඩල සක්‍රිය ලෙස දායක වී තිබේ. පුළුල් සමථ මණ්ඩල ජාලය මෙම ක්‍රියාවලියේ සාර්ථකත්වයට සාක්ෂි සපයන අතර, සාම්ප්‍රදායික අධිකරණ ක්‍රියාදාමයන් වෙනුවට වඩා ඉක්මන්, කාර්යක්ෂම සහ ලාභදායී විකල්පයක් බවට පත්වෙමින්, වඩාත් ශක්තිමත් හා සවිමත් ව බැඳුණු ප්‍රජාවන් ගොඩනැගීමට උපකාරී වේ.