ප්‍රජා සමථකරණ මණ්ඩල

1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ශ්‍රී ලංකාවේ ප්‍රජා සමථ වැඩසටහන සඳහා නීතිමය පදනම සපයයි. මෙම පනත මගින් සමථ මණ්ඩල සංස්ථාපනය නීතිගත කෙරේ. මෙම ප්‍රජා සමථ මණ්ඩල, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ අධීක්ෂණයට යටත් වේ. සමථකාරවරුන් පත්කිරීමේ, අධීක්ෂණය කිරීමේ සහ පරිපාලනය කිරීමේ බලය කොමිෂන් සභාව සතුය. එසේ වුවත් සමථකාරවරුන් පුහුණු කරනු ලබන්නේ අධිකරණ අමාත්‍යාංශය මගිනි. ඒ පනතේ බලතල අනුව නොව, පරිපාලන ක්‍රියාපටිපාටි අනුව ය.

සමථ මණ්ඩල පනතේ 6 වැනි වගන්තියේ සමථ මණ්ඩලවල නීතිමය බලය පැහැදිලිව දක්වා ඇත. යම් ආරවුලක් සමථ මණ්ඩල ප්‍රදේශයේ විෂය පථය තුළට ගැනෙන්නේ නම් එම ආරවුලට සම්බන්ධ ඕනෑම පුද්ගලයකුට එය සමථකරණය සඳහා සමථ මණ්ඩලය වෙත ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ හැකි බව එම වගන්තිය සඳහන් කරයි. මතභේදයට තුඩු දී ඇති දේපලවල වටිනාකම රුපියල් මිලියනයකට (රු.1,000,000) වඩා අඩු නම්, දේපල සම්බන්ධ ඕනෑම ආරවුලක් සමථකරණය සඳහා යොමු කිරීම අනිවාර්ය බව පනතේ සඳහන් වේ. එමෙන්ම, එහි දෙවන උපලේඛනයේ දක්වා ඇති වැරදි ද අනිවාර්යයෙන් සමථකරණයට යොමු කළ යුතු අතර, ඒවාට පුද්ගල ශරීරයට එරෙහි වන වැරදි මාලාවක් (තුවාල කිරීම, අයුක්තිසහගත ලෙස අවහිර කිරීම, අපරාධ බලය භාවිතා කිරීම), දේපලවලට එරෙහි අපරාධ ක්‍රියා, අපහාස කිරීම, සහ සාපරාධී බිය ගැන්වීම ආදිය ඇතුළත්ය. ආරවුලට අදාළ එක් පාර්ශ්වයක් ලෙස හෝ රජය හෝ නිල මට්ටමින් ක්‍රියා කළ රාජ්‍ය නිලධාරියෙකු සිටී නම් එවැනි ආරවුල් සම්බන්ධයෙන් මැදිහත්වීමට සමථ මණ්ඩලවලට බලතල නොමැත. පනතේ 3 වන උපලේඛනයට සමථකරණය කල නොහැකි ආරවුල් ලැයිස්තුවක් ද ඇතුළත් වන අතර, මේවාට විවාහ ආරවුල්, බූදල් සම්බන්ධ ගැටළු, බෙදීමේ ක්‍රියා, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම් සහ මූලික අයිතිවාසිකම්වලට අදාළ ක්‍රියාවන් ඇතුළත් වේ.

දශක තුනකට පසු මේ වන විට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්‍රියාකාරී ස්වේච්ඡා සමථකාරවරුන් 8,600 කට අධික සංඛ්‍යාවක් සහ සභාපතිවරුන් 325 කින් (පිරිමි 282 ක් සහ කාන්තාවන් 43 ක්) මගින් ශක්තිමත් වූ ප්‍රජා සමථ මණ්ඩල 329 රට තුළ ක්‍රියාත්මක ය.

මෙම සමථ මණ්ඩල දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට පැතිරී ඇති අතර ඉන් සමථ මණ්ඩල 260ක් සිංහල භාෂාවෙන්ද, 63ක් දෙමළ භාෂාවෙන්ද සේවා සපයයි. සෑම ප්‍රදේශයකම පැතිරී තිබීම හා විවිධ භාෂාවලින් සේවා ලබා ගැනීමට හැකිවීම හේතුවෙන්, සියලු ප්‍රජාවන්ට - තමාගේ භාෂාව හෝ පදිංචිය කුමක් වුවත් - සමථ මණ්ඩලයක සේවය ලබා ගැනීමේ හැකියාව ඇත.