ප්‍රජා සමථකරණය යනු කුමක්ද?

‘ප්‍රජා සමථකරණය’ යනු විකල්ප ආරවුල් විසඳීමේ ජනප්‍රිය ආකාරයකි. ‘ප්‍රජා සමථකරණය’ යන පදය සෑදී ඇත්තේ මෙය යම් ප්‍රජාවකට හෝ නිශ්චිත ප්‍රදේශයක ජීවත් වන පිරිසකට වෙන්වූ ක්‍රියාවලියක් වන බැවිනි.

ප්‍රජා සමථකරණයේ මූලික අරමුණ වන්නේ ප්‍රජාවට අදාළ ආරවුල් විසඳීමයි. මෙයට අසල්වාසීන් අතර ආරවුල්, ඉඩම් හිමියන් සහ කුලී නිවැසියන් අතර ආරවුල්, ප්‍රජාව සහ පළාත් පාලන ආයතන අතර ආරවුල් ආදිය ඇතුළත් වේ. මේ අතර පවුල්වල අභ්‍යන්තර ආරවුල් හා ඉඩම් හා දේපල සම්බන්ධ ආරවුල් වඩාත් සුලභ ආරවුල් වර්ග වන අතර, ඉඩම් සහ දේපල සම්බන්ධ ආරවුල් බොහොමයක් ඉඩම් මායිම්, මාර්ග අයිතිය සහ ඉඩම් නීති විරෝධී ලෙස භාවිතා කිරීම අරභයා හටගනී.

ප්‍රජා සමථකරණය සිදු කරනු ලබන්නේ ප්‍රජා සමථ මණ්ඩල පිහිටුවීම මගිනි. මෙම සමථකරණ ක්‍රියාවලිය ප්‍රජාව තුළට මුල් බැසගෙන ඇත්තේ, යම් ප්‍රජා සමථ මණ්ඩලයක් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුරවැසියන්ට පමණක් සීමා වී තිබීම හේතුවෙනි. අනෙක් අතට සමථ මණ්ඩලය අදාළ ප්‍රජාවේම සිටින ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත වීම ඊට තවත් හේතුවකි. දැනට ශ්‍රී ලංකාව තුළ විවිධ ජන ප්‍රමාණයන්ගෙන් යුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 330 කි.

අන්තර් පුද්ගල සහ ප්‍රජා මට්ටමේ ආරවුල් සඳහා ඔවුන් සමගි සම්පන්න විසඳුම් ලබාදීමට ප්‍රජා සමථ මණ්ඩල සක්‍රිය ලෙස දායක වී තිබේ. පුළුල් සමථ මණ්ඩල ජාලය මෙම ක්‍රියාවලියේ සාර්ථකත්වයට සාක්ෂි සපයන අතර, සාම්ප්‍රදායික අධිකරණ ක්‍රියාදාමයන් වෙනුවට වඩා ඉක්මන්, කාර්යක්ෂම සහ ලාභදායී විකල්පයක් බවට පත්වෙමින්, වඩාත් ශක්තිමත් හා සවිමත් ව බැඳුණු ප්‍රජාවන් ගොඩනැගීමට උපකාරී වේ.

ප්‍රජා සමථකරණ මණ්ඩල

1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ශ්‍රී ලංකාවේ ප්‍රජා සමථ වැඩසටහන සඳහා නීතිමය පදනම සපයයි. මෙම පනත මගින් සමථ මණ්ඩල සංස්ථාපනය නීතිගත කෙරේ. මෙම ප්‍රජා සමථ මණ්ඩල, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ අධීක්ෂණයට යටත් වේ. සමථකාරවරුන් පත්කිරීමේ, අධීක්ෂණය කිරීමේ සහ පරිපාලනය කිරීමේ බලය කොමිෂන් සභාව සතුය. එසේ වුවත් සමථකාරවරුන් පුහුණු කරනු ලබන්නේ අධිකරණ අමාත්‍යාංශය මගිනි. ඒ පනතේ බලතල අනුව නොව, පරිපාලන ක්‍රියාපටිපාටි අනුව ය.

සමථ මණ්ඩල පනතේ 6 වැනි වගන්තියේ සමථ මණ්ඩලවල නීතිමය බලය පැහැදිලිව දක්වා ඇත. යම් ආරවුලක් සමථ මණ්ඩල ප්‍රදේශයේ විෂය පථය තුළට ගැනෙන්නේ නම් එම ආරවුලට සම්බන්ධ ඕනෑම පුද්ගලයකුට එය සමථකරණය සඳහා සමථ මණ්ඩලය වෙත ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ හැකි බව එම වගන්තිය සඳහන් කරයි. මතභේදයට තුඩු දී ඇති දේපලවල වටිනාකම රුපියල් මිලියනයකට (රු.1,000,000) වඩා අඩු නම්, දේපල සම්බන්ධ ඕනෑම ආරවුලක් සමථකරණය සඳහා යොමු කිරීම අනිවාර්ය බව පනතේ සඳහන් වේ. එමෙන්ම, එහි දෙවන උපලේඛනයේ දක්වා ඇති වැරදි ද අනිවාර්යයෙන් සමථකරණයට යොමු කළ යුතු අතර, ඒවාට පුද්ගල ශරීරයට එරෙහි වන වැරදි මාලාවක් (තුවාල කිරීම, අයුක්තිසහගත ලෙස අවහිර කිරීම, අපරාධ බලය භාවිතා කිරීම), දේපලවලට එරෙහි අපරාධ ක්‍රියා, අපහාස කිරීම, සහ සාපරාධී බිය ගැන්වීම ආදිය ඇතුළත්ය. ආරවුලට අදාළ එක් පාර්ශ්වයක් ලෙස හෝ රජය හෝ නිල මට්ටමින් ක්‍රියා කළ රාජ්‍ය නිලධාරියෙකු සිටී නම් එවැනි ආරවුල් සම්බන්ධයෙන් මැදිහත්වීමට සමථ මණ්ඩලවලට බලතල නොමැත. පනතේ 3 වන උපලේඛනයට සමථකරණය කල නොහැකි ආරවුල් ලැයිස්තුවක් ද ඇතුළත් වන අතර, මේවාට විවාහ ආරවුල්, බූදල් සම්බන්ධ ගැටළු, බෙදීමේ ක්‍රියා, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම් සහ මූලික අයිතිවාසිකම්වලට අදාළ ක්‍රියාවන් ඇතුළත් වේ.

දශක තුනකට පසු මේ වන විට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්‍රියාකාරී ස්වේච්ඡා සමථකාරවරුන් 8,600 කට අධික සංඛ්‍යාවක් සහ සභාපතිවරුන් 325 කින් (පිරිමි 282 ක් සහ කාන්තාවන් 43 ක්) මගින් ශක්තිමත් වූ ප්‍රජා සමථ මණ්ඩල 329 රට තුළ ක්‍රියාත්මක ය.

මෙම සමථ මණ්ඩල දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට පැතිරී ඇති අතර ඉන් සමථ මණ්ඩල 260ක් සිංහල භාෂාවෙන්ද, 63ක් දෙමළ භාෂාවෙන්ද සේවා සපයයි. සෑම ප්‍රදේශයකම පැතිරී තිබීම හා විවිධ භාෂාවලින් සේවා ලබා ගැනීමට හැකිවීම හේතුවෙන්, සියලු ප්‍රජාවන්ට - තමාගේ භාෂාව හෝ පදිංචිය කුමක් වුවත් - සමථ මණ්ඩලයක සේවය ලබා ගැනීමේ හැකියාව ඇත.

ප්‍රජා සමථකරණයේ කාර්යක්ෂමතාවය

Card image cap
විසඳනලද ආරවුල්

සමථකරණයෙන් සාර්ථකව විසඳනු ලැබූ ආරවුල් සංඛ්‍යාව වැඩසටහනේ සඵලතාවය පිළිබඳ දර්ශකයකි.

Card image cap
පාර්ශවයන්ගේ තෘප්තිමත්භාවය

ආරවුලට සම්බන්ධ පාර්ශ්වයන්ගේ සමීක්ෂණ හෝ ප්‍රතිපෝෂණ මගින් සමථකරණ ක්‍රියාවලිය සහ එහි ප්‍රතිඵලය පිළිබඳ ඔවුන්ගේ තෘප්තිමත්භාවය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක.

Card image cap
පිරිවැය-ඵලදායීතාවය

සාම්ප්‍රදායික අධිකරණ ක්‍රියාමාර්ගවල පිරිවැයට සාපේක්ෂව සමථකරණ ක්‍රියාවලියේ පිරිවැය වැඩසටහනේ සඵලතාවය මැනීමට තවත් ක්‍රමයකි.

Card image cap
කාලය ඉතිරි වීම

සමථකරණය සඳහා සාමාන්‍යයෙන් ගත වන්නේ සාම්ප්‍රදායික නඩු වලට වඩා අඩු කාලයක් වන අතර එය වැඩසටහනේ සඵලතාවය පිළිබඳ වැදගත් දර්ශකයකි.

Card image cap
නැවත නඩුකීම

ආරවුලට සම්බන්ධ පාර්ශ්වයන් සමථකරණ ප්‍රතිඵලය පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම්, ඔවුන් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති ඉඩකඩ අඩුය.

Card image cap
විශ්වාසය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත් මුලපිරීමක් ලෙස ද ප්‍රජා සමථ වැඩසටහන් සැලකිය හැකිය.