1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත අනුව 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පළමු ප්‍රජා සමථ මණ්ඩල පිහිටුවන ලදී. සමථ මණ්ඩල, ස්වාධීන සමථ මණ්ඩල කොමිෂන් සභාවක් යටතේ පවතින අතර, අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති අධීක්‍ෂණය සහ පරිපාලන සහාය සහිතව ක්‍රියාත්මක වේ. වර්තමානය වන විට ප්‍රජා මට්ටමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රජා සමථ මණ්ඩල 329 ක් ඇති අතර, ඊට සහය වන පුහුණු ස්වේච්ඡා සමථකාරවරුන් ගණන 8,600 ඉක්මවයි. මෙම සමථකාරවරුන්ගෙන් 29%ක් කාන්තාවන් වේ. සාමාන්‍යයෙන් වසරකට ආරවුල් 250,000 කට වඩා සමථයට පත් කරන අතර, ප්‍රතිශතයක් ලෙස මෙය ඉදිරිපත් වන ගැටුම් අතරින් 65% ඉක්මවයි. මීට අමතරව, විශේෂිත වූ භූගෝලීය ප්‍රදේශවල විශේෂිත සමාජ හා ආර්ථික ගැටලු (උදා: ඉඩම් සහ මූල්‍ය ආරවුල් ආදිය) සඳහා මැදිහත් වීමට විශේෂ සමථ මණ්ඩල කිහිපයක් පිහිටුවා ඇත.

ප්‍රජා සමථ මණ්ඩල මගින් භාවිතා කරනු ලබන්නේ උවමනාවන් පාදක කොටගත් සමථකරණ ප්‍රවේශයකි. මෙහිදී, ගැටුමේ මූල හේතු අවබෝධ ගැනීමට දෙපාර්ශවයට අවස්ථාව සලසමින් ඒ තුළින් දෙපාර්ශ්වයේ එකිනෙක හා ගැටෙන අවශ්‍යතා හා උවමනාවන් හඳුනාගැනීමටත්, ඒවා ඇගයීමට ලක් කිරීමටත් අවස්ථාව සලසා දෙනු ලැබේ. සමථකාරවරුන් ආරවුලේ පාර්ශ්වයන් අතර බල අසමතුලිතතාවයන් තේරුම් ගෙන, ආරවුල ඵලදායී ලෙස සමථයකට පත් කිරීම සඳහා පදනමක් ලෙස ආරවුල්කරුවන් අතර බල තුලනයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. සමථකරුගේ කාර්යභාරය වන්නේ ප්‍රතිපක්ෂ ස්වභාවයෙන් යුත් අධිකරණ පද්ධතිය මෙන් වරදකරු හා නිවරදකරු තීරණය කරමින් ආරවුල විනිශ්චය කිරීම නොව, දෙපාර්ශවයටම පිළිගත හැකි ජයග්‍රාහී විසඳුමක් සොයා ගැනීමට ඔවුන්ට උපකාර කිරීමයි.

සුළු අපරාධ වැරදි, නිශ්චල හෝ චංචල දේපල සම්බන්ධ සිවිල් ආරවුල් සහ ඉඩම්, නිවාස සහ ණය සම්බන්ධ ගිවිසුම් ආශ්‍රිත ගැටලු ඇතුළු පුද්ගලයන් අතර ඇතිවන ආරවුල් වර්ග රාශියක් විසඳීම වෙනුවෙන් සමථකරණ මණ්ඩල පිහිටුවන ලදී. 2024 දී සංශෝධිත 1988 අංක 72 දරන පනතට අනුව යම් නිශ්චිත ආරවුල් සඳහා (උදා. රුපියල් 1,000,000 ට අඩු ණය, හානි හෝ දේපල හිමිකම් සහ තුවාල කිරීම්, අනවසරයෙන් ඇතුළුවීම්, බිය ගැන්වීම් සහ අයථා පරිහරණය වැනි නිශ්චිත සුළු අපරාධ වැරදි සඳහා) උසාවි යාමට පෙර සමථකරණය කරා යොමුවීම අනිවාර්ය වේ.

ආරවුලක පාර්ශ්වකරුවන් හට සෘජුවම ඔවුන්ගේ ආරවුල සමථකරණය සඳහා ඉදිරිපත් කළ හැකිය. නැතහොත් පොලිසිය හෝ උසාවිය මගින් ද ආරවුල් සමථකරණය සඳහා ඉදිරිපත් කළ හැකිය.

ආරවුලක් සමථකරණයට මැදිහත් වන්නේ සමථ මූල මණ්ඩලයේ සමථකාරවරුන් අතරින් ආරවුලේ පාර්ශ්වයන්ගේ කැමැත්ත පරිදි තෝරාගත් තිදෙනෙකුගෙන් සමන්විත සමථ මණ්ඩලයකි. ආරවුල්කරුවන් ස්වේච්ඡා පදනමින් මේ සඳහා සහභාගී වන අතර ඔවුන්ට ඊට සහභාගී වන ලෙස බලපෑම් කළ නොහැක. සමථ සැසි සතියකට වරක් (සාමාන්‍යයෙන් සති අන්තවල) ලිහිල් පටිපාටි අනුගමනය කරමින් පැවැත්වේ. සාමාන්‍යයෙන් මේ සඳහා භාවිතා කරන්නේ ප්‍රදේශයේ පාසලක හෝ පන්සලක පරිශ්‍රයයි. සමථ ක්‍රියාවලියේ ලිහිල් ස්වභාවය ආරක්ෂා කිරිම සඳහා නීතීඥයින්ට හෝ නියෝජිතයින්ට එම ක්‍රියාවලියේ කොටස්කරුවන් වීමට ඉඩ නොදෙන අතර, රජයට/රාජ්‍ය ආයතනයකට මෙහි එක් පාර්ශ්වයක් වීමට ඉඩ නොලැබේ. ආරවුල්කරුවන් අතර නිරවුල් කිරීම් (සිවිල් අධිකරණයක් විසින් එම ආරවුල සමථ මණ්ඩලයක් වෙත යොමු කරන්නේ නම් මිස) විධිමත් අධිකරණ පද්ධතිය විසින් පිළිනොගනී. යම් හෙයකින්, නියමිත කාලය තුළ ආරවුල සමථයකට පත් කිරීමට සමථ මණ්ඩලය අපොහොසත් වුවහොත්, එම ආරවුල සම්බන්ධයෙන් නිරවුල් නොකිරීමේ සහතිකයක් නිකුත් කළ යුතුය. එම සහතිකය ගැටුමේ දෙපාර්ශ්වයටම අධිකරණයේ පිළිසරණ පැතීමට ඉඩ සලසයි.

මේ සඳහා වැයවන්නේ ආරවුලකට සම්බන්ධ අයෙකු විසින් එම ආරවුල ලියාපදිංචි කිරීම සඳහා සමථ මූල මණ්ඩලයේ සභාපතිවරයා වෙත යවන ලිපියට අලවන රු. 5 ක මුද්දරයේ වටිනාකම පමණි.

සමථ මණ්ඩලය පිහිටුවීමෙන් පසු, ආරවුලක් නම් දින 60ක් ඇතුළතත්, සුළු වැරද්දක් නම් දින 30ක් ඇතුළතත් එය සමථකරණයට එම සමථ මණ්ඩලය බැඳී සිටී. සාමාන්‍ය වශයෙන් ගත් කළ, පාර්ශ්වයන් එකිනෙකා හොඳින් අවබෝධ කර ගනිමින් සාමකාමී විසඳුමකට පැමිණිමට සමථ සැසි දෙකක් හෝ තුනක් අවශ්‍ය වේ.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි සමථ මූල මණ්ඩල329 ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් සඳහා වෙන්වූ සෑම සමථ මූල මණ්ඩලයකම සමථකාරවරුන්40 දෙනෙකු දක්වා පිරිසකගෙන් සමන්විත මණ්ඩලයකින් යුක්තය. ඒ සඳහා පත්කරනු ලබන්නේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පමණක් වන අතර, එම සමථ මූල මණ්ඩලයට ආරවුල් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ ද අදාළ ප්‍රදේශයේම ප්‍රජාවට පමණි.

සාමාන්‍යයෙන් සමථ මණ්ඩලය සඳහා සමථකාරවරුන් නම් කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා හෝ එම සමථ මණ්ඩලයේ සභාපතිවරයා විසිනි. නැතහොත් රාජ්‍ය නොවන හෝ දේශපාලන නොවන සංවිධාන, ආගමික නායකයින්, පාසල් විදුහල්පතිවරුන් හෝ රජයේ නිලධාරීන් විසින් ඔවුන් නම් කරනු ලැබේ. නාමිකයා සමථ මණ්ඩල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු හෝ සේවයේ නියැලෙන්නෙකු වීමත්, ඔහු/ඇය ප්‍රජාවේ ගෞරවනීය සාමාජිකයෙකු වීමත්, සාර්ථක සමථකරුවෙකු වීමට අවශ්‍ය ගුණාංග ඔහු/ඇය සතු වීමත් සමථකාරවරයෙකු වීමට ඇති ප්‍රධාන නිර්ණායක වේ. පූර්ව අධ්‍යාපනික සුදුසුකම්වලින් තොරව සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියක් හරහා තෝරා ගනු ලබන සමථකාරවරුන්, සමථකරණ ශිල්පීය ක්‍රම සහ කුසලතා පිළිබඳ පැය 40 ක පුහුණුවකට භාජනය වේ. ස්වාධීන සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් නිල පත්වීම් සිදු කරනු ලබන අතර, අධිකරණ අමාත්‍යාංශයේ විශේෂිත සමථ පුහුණු නිලධාරීන් කණ්ඩායමක් සෑම සමථකාරවරයෙකුගේ ම තුන් අවුරුදු සේවා කාලය තුළ ඔවුන්ට අඛණ්ඩ පුහුණුව සහ ප්‍රතිපෝෂණය ලබා දේ.

1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනතේ 2 වැනි වගන්තිය යටතේ ස්ථාපිත කර ඇති සමථ මණ්ඩල කොමිෂන් සභාව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් පස් දෙනකුගෙන් සමන්විත වේ. එම කොමිෂන් සභාවේ කාර්යයන්ට ශ්‍රී ලංකාවේ සියලුම සමථකාරවරුන් පත් කිරීම, අධීක්ෂණය සහ කළමනාකරණය ඇතුළත් වේ.